සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2018 වර්ෂයේ මුල් මාස හය ඇතුළත රුපියල් මිලියන 1,200 ක ලාභයක් උපයයි

11-September-2018

2018 වර්ෂයේ පළමු මස 06 තුළදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 1,311 ක් වශයෙන් සටහන් වන අතර මෙය පෙර වර්ෂයට සාපේක්ෂව 28.4% ක වර්ධනයකි. 2017 වර්ෂයේදී බදු ගෙවීමට පෙර ලාභය වූයේ රුපියල් මිලියන 1121 ක් වූ අතර ශුද්ධ ලාභ අනුපාතය වූයේ 15.9% කි. 2018 වර්ෂයේ මුල් මාස හයක කාලය තුළ ශුද්ධ ලාභ අනුපාතිකය 16.3% ක් වන අතර එය 2017 ට සාපේක්ෂව 2.1% ක වර්ධනයකි.

2018 වර්ෂයේ මුල් මාස හයක කාලය තුළදී බදු ගෙවීමෙන් පසු මණ්ඩලයේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 1209 කි. 2017 වර්ෂයේදී පිරිවැටුම අඩු වීමට මූලිකව හේතු වූයේ ලොතරැයි අලෙවි නියෝජිතයින් විසින් ගෙන ගිය වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයන් හේතුවෙන් පිරිවැටුම පහළ වැටීමයි.

2016 වර්ෂයේ මුලු ආදායම රුපියල් මිලියන 7362 ක් වූ අතර 2018 වර්ෂයේදී ආදායම රුපියල් මිලියන 8005 ක් විය. 2016 වර්ෂය පාදක වර්ෂයක් වශයෙන් ගතහොත් 2018 වර්ෂයේදී 8.73% පිරිවැටුමෙහි වර්ධනයක් පෙන්නුම් කරයි.

2018 වර්ෂයේ මුල් මාස හයක කාලය තුළ මුලු ආදායම පසුගිය වසරට සාපේක්ෂව 25% කින් ඉහළ ගොස් ඇති අතර එය සටහන් වන්නේ රුපියල් මිලියන 8005 ක් වශයෙනි.

මෙම කාල සීමාවට සාපේක්ෂව 2017 වර්ෂයේදී මුලු ආදායම වූයේ රුපියල් මිලියන 6383 කි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදින ලොතරැයිපත් 10 ක් සහ ශ‍්‍රි ලංකාවේ පැරණිතම ක්ෂණික ලොතරැයිය වන සංවර්ධන ක්ෂණික ටිකට්පතත් සමග ටිකට්පත් 11 ක් වෙළදපලට ඉදිරිපත් කරයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මූලික අරමුණ වනුයේ ජනාධිපති අරමුදල සදහා මුදල් උපයා දීම වන අතර, ජනාධිපති අරමුදල මගින් වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට දුෂ්කරතා ඇති ශි‍්‍ර ලාංකිකයන් සදහා හෘද සැත්කම් ,වකුගඩු බද්ධ කිරීම් ආදී බරපතල රෝග සදහා මූල්‍ය ආධාර ලබා දීමයි. මෙම අරමුදලට ලැබෙන දායකත්වයෙන් 50% ක මුදලක් මහපොළ භාරකාර අරමුදල වෙත යොමු කරයි. ඒ අනුව මේ වන විට මහපොළ භාරකාර අරමුදල මගින් 1983 වර්ෂයේ සිට 2017 දක්වා ශ‍්‍රි ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්                    276, 674 ක ප‍්‍රමාණයක් සදහා මහපොළ ශිෂ්‍යත්ව පිරිනමා ඇත.

ජනාධිපති අරමුදලට වන දායකත්වයට අමතරව රජයේ බදු ආදායමට ඉමහත් දායකත්වයක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය  විසින් ලබා දේ. මණ්ඩලයේ දායකත්වය තුළින් 2018 වර්ෂයේ ජූනි මස අවසන් කාලපරිච්ජේදය සදහා රුපියල් මිලියන 579ක් බදු වශයෙන් රජයට ගෙවා ඇත.

 2018 වසරේ මුල් භාගයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලොතරැයිපත් වෙළදපලට සැපයීම කෙරෙහි අවධානය යොමුකරන ලදී. බෙදා හැරීමේ නියෝජිත ජාලය සමග ඉතා සමීපව කටයුතු කිරීම කෙරෙහිද අවධානය යොමු කරන ලදී. මුල් මාස 06ක කාලය තුළදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුලු දිවයිනම ආවරණය කරමින් දිස්ති‍්‍රක් මට්ටමින් අලෙවි නියෝජිත රුස්වීම් සංවිධානය කරන ලදී.

තවද ටිකට්පත් කෙරෙහි පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය වැඩි කිරීම සදහා සහ වෙළදපල තත්ත්වයට ගැළපෙන පරිදි ටිකට්පත් පෙළගැස්වීම මූලික උපාය මාර්ගික ප‍්‍රමුඛතාවයක් ලෙස ක‍්‍රියාකර ඇත.

මණ්ඩලය විසින් කරන ලද සමීක්ෂණයට අනුව ජනගහනයෙන් 18% ක ප‍්‍රමාණයක් ලොතරැයි මිලදී ගැනීමේ නිරත වී සිටින අතර එය ඉහළ මධ්‍යම පංතිය සහ  අඩු ආදායම්ලාභී හා මධ්‍ය ආදායම්ලාභී ජනතාවද නියෝජනය වන බව නිරීක්ෂණය වී තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සාම්ප‍්‍රදායික විකිණීමේ ක‍්‍රම වලින් ඔබ්බට ගොස් වෙළදපොළ ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී. නුදුරු අනාගතයේදී කෙටි පණිවිඩ  මත පදනම්ව දැනට පවතින ලොතරැයි විකිණීම සදහාත් නව තාක්ෂණය ඔස්සේ යෙදවුමක්  (App) හදුන්වා දීමට සැලසුම් කර ඇත.

තවද මණ්ඩලය විසින් විවිධ සේවක පුහුණු වැඩසටහන් රැසක් 2017/2018 වර්ෂ තුළදී කි‍්‍රයාත්මක කර ඇත.මෙහිදී විකුණුම් සේවක කාර්ය මණ්ඩලයේ දැනුම වැඩි කරලීම ඔවුන්ගේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය වැඩි කිරීම කෙරෙහි ප‍්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කර ඇත.


සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් සමාජ සත්කාරයක් කළුතරදී
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් බදුල්ල දිස්ති‍්‍රක් ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් අලෙවි සහයක හමුවක් බණ්ඩාරවෙලදී